SSD vs NVMe vs M.2
ගොඩක් අයට මේ වචන තුන දැක්කම පිස්සු හැදෙනවා. "මචං මම M.2 එකක් ගත්තා", "නෑ නෑ NVMe එකක් ගනින්", "SSD එකක් තමා හොඳ" කියද්දී ඔලුව විකාර වෙනවා නේද? බයවෙන්න එපා, අද මම යන්නෙ මේ පටලැවිල්ල ලෙහන්න.😉
## 1. SSD (Solid State Drive)
ඉස්සර අපි පාවිච්චි කරපු HDD (Hard Disk Drive) මතකද? ඇතුලේ කරකැවෙන කැසට් පටියක් වගේ ප්ලේට් එකක් තිබ්බේ. සද්දෙත් එක්ක හෙමින් වැඩ කරපු ඒ සීයා කෙනෙක් වගේ HDD එක වෙනුවට ආපු අලුත් පරම්පරාවේ වැඩ්ඩා තමයි SSD කියන්නේ.
මේක ඇතුලේ කරකැවෙන කෑලි නෑ. pure microchips විතරයි.
වාසිය:
ලැප් එක On වෙන්න විනාඩි 5ක් බලන් ඉන්න ඕන නෑ. තත්පර 10න් On වෙනවා! Game load වෙන්නේ බ්ලින්ක් වෙන පරක්කුවෙන්.
## 2. M.2
මෙන්න මෙතනදී තමයි ගොඩක් අය නාගන්නේ! M.2 කියන්නේ Speed එක මනින එකක් නෙවෙයි. ඒක SSD එක තියෙන හැඩය සහ ප්‍රමාණය (Shape/Size).
සම්ප්‍රදායික SSD (2.5-inch SATA): මේවා ටිකක් ඝනකමයි, පොඩි චොක්ලට් එකක් වගේ. කේබල් ගහලා සෙට් කරන්න ඕනේ.
M.2 SSD,
මේක නිකන් චුවින්ගම් පටියක් වගේ පැතලියි, පුංචියි! කිසිම කේබල් එකක් ඕන නෑ, කෙලින්ම Motherboard එකට Plug කරන්න විතරයි තියෙන්නේ.
කෙටියෙන්ම කිව්වොත් M.2 කියන්නේ SSD එකේ Look එකට!
3. NVMe
දැන් M.2 කියන්නේ හැඩය නම්, ඒ හැඩයෙන් එන SSD එක ඇතුලේ Data යවන Technology එක (Protocol) තමයි NVMe කියන්නේ.
SATA vs NVMe
ඉස්සර M.2 SSD ආවේ SATA කියන පරණ පාරෙන් (SATA Protocol). ඒ පාරේ යන්න පුළුවන් උපරිම Speed එක 550 MB/s විතර. නමුත් NVMe කියන්නේ ඒකට හදපු අලුත්ම Express Highway එකක්!
NVMe SSD එකක Speed එක 3,500 MB/s ඉදන් 7,000+ MB/s වෙනකම් යන්න පුළුවන්! ඒ කියන්නේ SATA වලට වඩා 10-12 ගුණයක් විතර වේගවත්.
ලේසියෙන්ම තේරුම් ගන්න පොඩි උදාහරණයක්!
හිතන්න ඔයා වාහනයක් ගන්න යනවා කියලා:
SSD කියන්නේ සාමාන්‍යයෙන් "කාර් එකක්" කියන කැටගරි එකට (HDD කියන්නේ බුල්ඩෝසරයක් වගේ!).
M.2 කියන්නේ ඒ කාර් එකේ "Sport Body Design" එකට (පෙනුම).
NVMe කියන්නේ ඒ Sport කාර් එක ඇතුලට දාලා තියෙන "V8 Turbo Engine" එකට!
ඒ කියන්නේ ඔයා "M.2 NVMe SSD" එකක් ගන්නවා නම්, ඔයා ලඟ තියෙන්නේ සුපිරිම පෙනුම තියෙන, පට්ටම Speed එකක් තියෙන රොකට් එකක්!
ඔයාට ඔනේ මොන වගේ එකක්ද?
Budget එකට සාමාන්‍ය වැඩ වලට 2.5-inch SATA SSD එකක් ඇති.
Clean Look එකක් එක්ක කේබල් නැතිව පාවිච්චි කරන්න ඕනෙ නම් M.2 SATA SSD එකක් ගන්න.
Gaming, 4K Video Editing, Heavy Software පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම M.2 NVMe SSD එකකටම යන්න!

